Home Tech Videos Programming Aviation

Galaxy AI සමඟ Samsung සඳහා 2026 දී වැඩි ඉල්ලුමක් ?

Tech News දිනකට පෙර 1509 Views

දකුණු කොරියානු විශාලතම තාක්ෂණ සමාගම වන Samsung Electronics, 2026 වසර තුළ තම "Galaxy AI" විශේෂාංග සහිත ජංගම උපාංග සංඛ්‍යාව දෙගුණයකට වැඩි කරමින් ඒකක මිලියන 800 වෙත ඉහළ දැමීමට සැලසුම් කර ඇත. මෙම ප්‍රකාශය Samsung හි සමා-සභාපති T M Roh විසින් 2026 ජනවාරි 5 වන දින කළ සම්මුඛ සාකච්ඡාවකදී සිදු විය.

Samsung විසින් 2025 දක්වා Google Gemini මොඩලය මත පදනම්ව AI හැකියාවන් සහිතව නිෂ්පාදිත ජංගම දුරකථන සහ ටැබ්ලට් 400 මිලියනකට ආසන්න ප්‍රමාණයක් වෙළඳපොළට හඳුන්වා දී තිබුණි. නව සැලසුම අනුව එම සංඛ්‍යාව 2026 වසර තුළ 800 මිලියන ඒකක දක්වා දෙගුණ කිරීමට කටයුතු කරනු ඇත. මෙය Google හි Android ජංගම පද්ධතියට විශාල සහයෝගයක් වන අතර, AI තරගය දැඩිව පවතින මේ අවස්ථාවේදී Samsung සමාගමට, තරඟකරුවන්ට වඩා ඉහළ වාසියක් ලබා දීමට නියමිතය.

T M Roh පවසන්නේ, "අපි සියලුම නිෂ්පාදන, සියලුම කාර්යයන් සහ සියලුම සේවාවන් සඳහා ඉක්මණින් AI තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරනවා" යනුවෙනි. Samsung හි ජංගම දුරකථන, ටෙලිවිෂන් සහ ගෘහ උපකරණ අංශ පාලනය කරන Roh, Apple සමාගමෙන් අහිමි වූ ජංගම දුරකථන වෙළඳපොළේ නායකත්වය නැවත ලබා ගැනීමටත්, චීන තරඟකරුවන්ගෙන් ආරක්ෂා වීමටත් Samsung සමාගම උත්සාහ කරමින් සිටින බවද සඳහන් කළේය. Samsung විසින් Galaxy AI යන නාමයෙන් හඳුන්වන AI විශේෂාංග මාලාව Google Gemini මොඩලය සහ Samsung හිමිකම් ඇති Bixby මත පදනම්ව ක්‍රියාත්මක වේ. මෙම AI සේවාවන් පාරිභෝගික උපාංග අතර ඒකාබද්ධව ලබා දීමෙන් Apple සමාගමට වඩා තවත් ඉදිරියට යාමට Samsung සමාගම බලාපොරොත්තු වෙයි.

Google Gemini 3 නවතම සංස්කරණය 2025 නොවැම්බර් මාසයේ නිකුත් කර ඇති අතර, එය AI ක්ෂේත්‍රයේ ඉහල ප්‍රතිඵල ලබා දී තිබේ. OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Sam Altman විසින් Gemini 3 නිකුත් කිරීමෙන් පසු "code red" යන අභ්‍යන්තර තත්ත්වයක් ප්‍රකාශ කරමින් GPT-5.2 මොඩලය ඉක්මනින් නිකුත් කළේය. Samsung හි AI භාවිතය ඉක්මනින් වර්ධනය වන බව Roh පවසයි. Galaxy AI සම්බන්ධයෙන් පාරිභෝගික අවබෝධය පසුගිය වසරකින් 30% සිට 80% දක්වා ඉහළ ගොස් ඇත.

Roh සඳහන් කළේ, "AI තාක්ෂණය මේ මොහොතේ තවමත් සැකයක් ඇති විය හැකි නමුත් මාස හයක් සිට වසරකට ඇතුළත මෙම තාක්ෂණය පුළුල් වශයෙන් භාවිතා වනු ඇත" යනුවෙනි. දුරකථන වල AI භාවිතයේ ප්‍රධානම ක්‍රියාකාරකම සෙවුම් සේවාව වුවද, පාරිභෝගිකයන් පින්තූර සංස්කරණ, නිෂ්පාදන කාර්යක්ෂමතා මෙවලම්, පරිවර්තනය සහ සාරාංශ කිරීම වැනි විවිධ AI සේවාවන් බහුලව භාවිතා කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය. Samsung හි කොටස් මිල 2026 ජනවාරි 5 වන දින 7.5% කින් ඉහළ ගොස් තිබුණි. සමාගම මෙම සතියේ හතරවන කාර්තුව සඳහා ලාභය ඉහළ යාමක් ප්‍රකාශ කිරීමට නියමිතය. එහෙත්, ලෝකය පුරා මතක චිප් හි අඩුවීම, Samsung හි අර්ධපරිවාරක අංශයට වාසියක් වුවත්, ජංගම දුරකථන වැනි අංශවල ලාභ අඩු වීමකට හේතු වී ඇත. Roh පවසන්නේ, "මෙම අභියෝගය අද්විතීය වන අතර කිසිදු සමාගමක් එහි බලපෑම් වලින් නිදහස් නොවේ" යනුවෙනි. මෙම මතක චිප් හි අඩුවීම ජංගම දුරකථන පමණක් නොව, ටෙලිවිෂන් සහ ගෘහ උපකරණ වැනි අනෙකුත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණවලටද බලපාන බව ඔහු සඳහන් කළේය.

Samsung GalaxyAI ArtificialIntelligence Android